ඒරාෂ්ඨක අපල ගැන ඔබත් අනිවාර්යයෙන් සැලකිළිමත් විය යුතු මේ වැදගත් කරුණු ගැන දැනුවත් වෙන්න.
ඒරාෂ්ඨක යනු පොදුවේ මිනිස්‌ ජීවිතවලට එළඹෙන දුර්දාන්තම කාලයකි. සෑම මනුෂ්‍යයකුටම කාලයෙන් කාලයට ඒරාෂ්ඨක උදා වෙයි. ඒරාෂ්ඨක වර්ග හතරක්‌ තිබේ. එනම් ලග්න ඒරාෂ්ඨක – අෂ්ඨම ඒරාෂ්ඨක – ජන්ම ඒරාෂ්ඨක – චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨක යනුවෙනි.
මෙයින් බලවත්ම ඒරාෂ්ඨකය ලෙස සැලකෙන්නේ ජන්ම ඒරාෂ්ඨකයයි. ඒ වනාහී යම් කේන්ද්‍රයක සඳු හෙවත් චන්ද්‍රයා සිටින තැනට සෙනසුරුගේ පැමිණීමයි. එය වසර 30 කට වරක්‌ සිදුවේ. සෙනසුරු ලග්නයට පැමිණීම ලග්න ඒරාෂ්ඨකය වෙයි. කේන්ද්‍රයේ 08 වැන්නට සෙනසුරු පැමිණීම අෂ්ඨම ඒරාෂ්ඨකය වෙයි. සඳු සිටි තැනින් 08 වන ස්‌ථානයේ සෙනසුරු ගමන් කරන කාලය චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකය වෙයි.
ලග්නය දෙපස හෝ අටවැන්න දෙපස චන්ද්‍රයා යම් කේන්ද්‍රයක සිටී නම් ඔහුට ලග්න – ජන්ම හෝ අෂ්ඨම – ජන්ම යන ඒරාෂ්ඨක දෙක එකවර උදා වේ. බොහෝ මනුෂ්‍යයින් මේ ඒරාෂ්ඨක යයි පැහැදිලි කළාට එතරම් ඒ ගැන සැලකිල්ලක්‌ නොදක්‌වති. ඒ නිසා ඔවුන් අකාලයේ ජීවිත හානි ඇති කර ගන්නා අයුරු අප අත්දැක තිබේ. ඒ නිසා මේ ගැන ඔබට අනාවරණය කිරීම සුදුසු යයි සිතුවෙමි.
ඒරාෂ්ඨකයක විපාක පදනම් වන්නේ ඔබ පෙර කළ අකුසල් මතය. මිනිස්‌ ලොවේදී “ප්‍රවෘත්ති විපාක” ලෙස හෝ පාප බල පැමිණෙන බව බුදු දහම විස්‌තර කරයි. මෙසේ ඒරාෂ්ඨක අපල ලෙස පැමිණෙන්නේ අප විසින් සිතින් – වචනයෙන් – ක්‍රියාවෙන් කරන ලද අකුසල්ය. ඒරාෂ්ඨක අතර ප්‍රධාන වන ජන්ම ඒරාෂ්ඨක ලබා ගත් අය මහා විපත්ති – කරදර – ලෙඩ දුක්‌ කිසිවක්‌ බලවත් ලෙස නොලබා ඒරාෂ්ඨක ගෙවී යන අයද සිටී.
එසේ වන්නේ ඔහුට බලවත් පාප කර්ම විපාක දීමට නොමැති විටකය. සාමාන්‍යයෙන් කර්ම විග්‍රහය අනුව යම් කෙනෙකුට ඒරාෂ්ඨක අපල ලෙස පාප විපාක පැමිණෙන අවස්‌ථා තුනක්‌ පෙන්වා දිය හැක. එනම් අකුසල උප පීඩක – අකුසල උපස්‌ථම්භක – අකුසල උප ඝාතක යනුවෙනි.
අකුසල උප පීඩක කර්මය යම් ඒරාෂ්ඨකයකදී ක්‍රියාත්මක වේ නම් විශේෂයෙන්ම කැමැති දේ නොලැබීමේ දුක අත්වෙයි. තමාගේ සිතුම් පැතුම් ඉටුකර ගැනීමට ගන්නා කායික හා මානසික වෙහෙසට බොහෝ අවහිර බාධා ඇති කරයි. ලෙඩ දුක්‌ බාධක ඇති කරයි. මනුෂ්‍යයා සිතන දේවල් වෙනස්‌ වී නොසිතන දේවල් සිදුවෙයි. අවබෝධතා ඥානය දුර්වල කරයි. කායික, මානසික, ශක්‌තිය දුර්වල වෙයි.
තරුණ දූ පුතුන්ට ඒරාෂ්ඨක ලැබූ විට ඔවුන් අකීකරු වෙයි. මවුපියන් සමඟ සණ්‌ඩු සරුවල් ඇති වෙයි. හොඳක්‌ කීවත් එයටද උරණ වෙයි. මෙසේ අවබෝධතා ඥානය දුර්වල කරයි. මානසික විශාධිවලට ඉතා ලේසියෙන් පත්කරයි. මෙසේ සිදු වන අසුබතා අපමණය. ලිපිය දිගුවන නිසා කෙටි කර දක්‌වමි.
අකුසල උපස්‌ථම්භක කර්මය ඒරාෂ්ඨකවලදී බලපාන අයට රැකී රක්‌ෂා ස්‌ථානවලදී කරදර ඇති වීම, සේවය අත්හිටුවීම හෝ හොඳ නරක නොබලා රැකියාවෙන් ඉල්ලා අස්‌වීම, හදිසි අනතුරු ඇති වීම හා අත්පා අහිමි වීම – ගත් ණය ගෙවා ගැනීමට නොහැකිව සිරවීම, ඒ හරහා උපායාස දුක ඇති වීම, මහා බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීම, කිසිදා නොවිඳි නින්දා අපහාස විඳීමට සිදුවීම, සිරගත වීම, මහා රෝග පීඩා අංශභාග, පිළිකා වැනි දේවල් ඇති වී ජීවිතය අකර්මණ්‍ය වීම වැනි තත්ත්වයන්ද ඒරාෂ්ඨක තුළින් මතු වේ.
ඒ අකුසල උපස්‌ථම්භක කර්මය ක්‍රියාත්මක වීමය. එනම් කුමන අතකින් හෝ තමා සිටි තත්ත්වයෙන් පහතට වැටීම පිළිගැනීම නැති වී යෑම එම අකුසල උපස්‌ථම්භක කර්ම ස්‌වභාවය වෙයි. මේ සියල්ල සකස්‌ වන්නේ තමා විසින්ම කරන ලද අකුසල් විපාක වශයෙනි. එනම් දශ අකුසල්ය. ඊළඟට අකුසලය උප ඝාතක නම් කර්මය පිළිබඳව විමසා බලමු.
මෙම කර්මවල විපාක ලැබෙන්නේද මෙසේ තදබල ලෙස පවතින ජන්ම ඒරාෂ්ඨකවලදීය. බොහෝ විටම ඒවා තදබල කර්ම විපාක බැවින් දුරු කර ගැනීමට අපහසු විය හැක. අපගේ අත්දැකීම් අනුව ඒවාට අදාළ සෙත් ශාන්ති ලබා දුන්නද ඔවුන් අතින් ඒවා සිදු නොවෙයි. අත්‍යාවශ්‍ය දේවල් ලෙස පැමිණෙන බාධක නිසා අතපසු වී ගොස්‌ අවසන් අවස්‌ථාවේ භයානක මරණයකට ගොදුරු වෙයි. අකුසල උප ඝාතක නම් කර්මයේ ස්‌වභාවය වන්නේ මරණයට පත්වීමය. එය සැබෑ ලෙසම මරණයට පත්වන්නේද නැති නම් මරණය අසලටම පැමිණ ගොඩ එන්නේද යන්න ඒරාෂ්ඨක ස්‌වභාවය ගැඹුරින් පරීක්‌ෂා කර තීරණය කළ යුතුය.
විශේෂයෙන් ජන්ම ඒරාෂ්ඨකවලදී ශනි – සඳු – රාහු – කුජ සහ 22 වන දෙර්කාණ අධිපති ග්‍රහයා පිළිබඳව උත්පත්ති කේන්ද්‍රයේ පිහිටීම් පරීක්‌ෂා කොට මේ ග්‍රහයින් නැවත බලවත් සංයෝගයක්‌ පවත්වන කාලවකවානු පරීක්‌ෂා කළ යුතුය. පහත දක්‌වන කේන්ද්‍ර සටහන පරීක්‌ෂා කර ඇති අන්දම විමසා බලන්න.
මෙම කුම්භ ලග්න හිමි තරුණයා 2017 සැප්. 09 දින වන විට වයස අවු. 24 මාස 02 දින 09 ක්‌ වයසට පත්ව තිබුණි. ඔහුගේ උත්පත්ති ග්‍රහ පිහිටීම අනුව ලග්නය කුම්භ වී එහි සෙනසුරු සිටියේය. 4 වන භාවයේ සිකුරු කේතුගෙන් පීඩා වූ අතර 10 වැන්න තුළ නීච වී සිටි සඳු රාහුගෙන් පීඩා විය. රවී 5 වැන්නෙත්, බුද 6 වැන්නේත්, කුජ 7 වැන්නේ සිටිමින් සෙනසුරුත් සඳු හා රාහුත් දක්‌නා ලදී.
විශේෂයෙන් මේෂ නවාංශකය ලබා තිබූ නිසා තදබල මාරක ග්‍රහයා වූයේ සිකුරුය. මාතෘ ස්‌ථානය වූ 04 වැන්නේ සිකුරු සිටීම මවට බොහෝ ලෙන්ගතු ස්‌වභාවයක්‌ මෙම තරුණයා තුළ පවතින බව පෙන්වයි. නමුත් කේතු එම ස්‌ථානය තුළ සිකුරු සමඟ සිටි නිසා ඔහුගෙන් මවට අපලද පවතී. 2015 ජනවාරි සිට ඔහු ජන්ම ඒරාෂ්ඨක ලැබුවේය. 2017 ජුනිවල කේන්ද්‍ර පරීක්‌ෂාවේදී ජන්ම ඒරාෂ්ඨකයේ ප්‍රබලම අවස්‌ථාව අගෝස්‌තු සැප්තැම්බර් අතර සිදුවීමට නියමිතව තිබුණි. ඒ වෘශ්වික රාශියේ සඳු සිටි අංශකයට සෙනසුරු ඇතුළු වීමය.
ඒ වන විට තත්කාල කෙන්ද්‍ර පිහිටීමද හොඳටම අශුභ වී තිබුණි. ඒ අනුව කුජගේ දෘෂ්ඨියත්, රාහුගේ දෘෂ්ඨියත් 22 දෙර්කාණ අධිපති සිකුරුගේ දෘෂ්ඨියත් ඒරාෂ්ඨකය මතට එල්ල වෙයි. ඒ නිසා අගෝස්‌තු, සැප්තැම්බර් මාසවල ඔබට මාරක තරම් අශුභ ඇති වන නිසා ආරක්‌ෂක සෙත් ශාන්ති කර ගැනීමට උපදෙස්‌ ලද නමුත් කර්මානු රූපව හෝ ඒවා එකක්‌වත් ඉටු කර ගැනීමට නොහැකි විය.
සැප්තැම්බර් 09 දින තම මව සමඟ යතුරුපැදියක ගමන් කරමින් සිටියදී කළුතර දිස්‌ත්‍රික්‌කයේ නෑබඩ මතුගම පාරේ නාර්තුපාන පාලම අසලදී කැබ් රථයක ගැටී මවත් පුතාත් ශෝචනීය මරණයකට ලක්‌විය. ගඟටද ඇද වැටුණි. මෙයින් ඔබට ප්‍රකාශ කරන්නේ ඒරාෂ්ඨකවලදී සැලකිලිමත්ව තම ජීවිත ආරක්‌ෂාව සලසා ගැනීමට බුද්ධිමත් වන ලෙසය. අපගේ අත්දැකීම් අනුව ඒරාෂ්ඨක යයි පැවසූ විට බොහෝ අය එතරම් ගණන් නොගෙන සිටී.
ඒරාෂ්ඨක පමණක්‌ නොව වෙනත් ග්‍රහයන්ගේද මහ දශා අන්තර් දශා ගත කරන විට එකී ග්‍රහ කිරණ අපට සමීප වෙයි. ඒවා ඇදී යන්නේ මනෝ‍ විඤ්ඤාණයටය. අපි පෘතග්ජන මිනිසුන් නිසා අපේ විඤ්ඤාණ සැකසෙන්නේම තණ්‌හා – ද්වේෂ – මෝහ මතය. ඒ නිසා පෙර පව් ඉක්‌මනින්ම ග්‍රහ කිරණ ඔස්‌සේ සක්‍රීය වෙයි. ග්‍රහයන්ට අයත් වන ආවේණික ගතිද අපේ මනස මත ඇති වෙයි.
උපමාවක්‌ ගතහොත් කුඩා ළමයි රාහු මහා දශාවේ ගත වන විට ඔවුන්ට රාහුගේ ගති පිහිටයි. රාහු සුළඟ බඳු ග්‍රහයෙකි. ඒ නිසා එම දරුවාද රාහු මහ දශාවේදී විසේකාර වෙයි. ඒවා කඩිසරය – වේගවත්ය. එක තැනක සිටින ඔහු මොහොතකින් වෙනත් තැනකය. එහෙ මෙහෙ දුව පනී. නිවසේ අහුමුළු අවුස්‌සයි. ගස් ගල්වල නඟී. කබඩ්, අල්මාරි මතද නඟී. අකීකරුය. වේගවත්ය. මේ රාහුගේ ස්‌වභාවයෙන් එම දරුවා ක්‍රියා කිරීමය. රාහු නුවණ නැති ග්‍රහයෙකි.
ඉන්පසු ඔහු ගුරු මහා දශාව ලබයි. ගුරු ශාන්ත ග්‍රහයෙකි. නුවණ ඇති ග්‍රහයෙකි. රාහු දශාවේ විසේකාර වූ දරුවා ගුරු මහා දශාවේදී තැන්පත් වෙයි. ශාන්ත වෙයි. එසේ වන්නේ මනෝ විඤ්ඤාණයට ගුරුගේ කිරණ වැදීම නිසා ගුරුගේ ගතියට මනස සකස්‌ වීමය.
ඒ ග්‍රහ දශාවලට වඩා මිනිස්‌ මනසට ප්‍රබල බලපෑමක්‌ ඇති වන්නේ ඒරාෂ්ඨකවලදීය. ඒරාෂ්ඨකයක්‌ ප්‍රබල වන්නේ හෝ සාමාන්‍ය වන්නේ ඒරාෂ්ඨකය තුළින් විපාක දීමට මුල් වෙන ඔහුගේ පාපකර්මවල බල දුබලතාවය අනුවය. පාසලේ දක්‌ෂ දරුවෙකු ඒරාෂ්ඨක ලද කල්හි අවබෝධතා ඥානය දුර්වලව අධ්‍යාපන දක්‌ෂතා පහළ බසින්නා සේම වැඩිහිටියන්ගේ මනෝ ප්‍රභාවය දුර්වල කර කැමැති දේ නොලැබෙන දුක අත් කරයි.
ඒරාෂ්ඨක තදබල ලෙස තරුණ දූ පුතුන්ට බලපාන විට ඔවුන්ගේ මනස අවුල් සහිත පීඩාවකට පත්වෙයි. බොහෝ විට වැරදි මත සිතට කා වදී. එවිට සමීපතමයන් හෙවත් මවුපියන්, සහෝදර සහෝදරියන් සමඟ අසමගි කම – වෛරය – තරහව ඇති කර ගනී. මානසික විශාධියකට පත්වෙයි. ඒරාෂ්ඨක පවතින වසර දෙක හමාර හෝ පහ තුළ එම දරුවා බෙහෙවින් වෙනස්‌ වී එක එල්ලේ හඳුනාගත නොහැකි මානසික විකෘති තත්ත්වයක කටයුතු කරයි.
ඒ නිසා ඒරාෂ්ඨක ඇති වීමේදී මේ පිළිබඳව කවුරුත් මනා අවබෝධයෙන් කටයුතු කළ යුතුය. ඒ සඳහා නිර්ව්‍යාජ සත්‍ය සෙත් ශාන්ති ,වත්පිළිවෙත්, ග්‍රහ ශාන්තිකර්ම, පුණ්‍යකර්ම, අට මහ කුසලකර්ම කර ගනිමින් තම ආරක්‌ෂාව සුරක්‌ෂිත කර ගත යුතුය.
ප්‍රවීණ පාරම්පරික ජ්‍යෝතිෂවේදී , ධර්මාචාර්ය , හස්තරේඛා විශේෂඥ , වාස්තු විද්‍යාවේදී, ජ්‍යෝතිෂවි‍ද්‍යා විශාරද , එච්.එච්.එස්.පීරිස්.
0715488711
0705358068
සූර්යාලෝක ජ්‍යෝතිෂ සේවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here