ගැඹුරු තෙලේ බැදපු කෑම(Deep fried foods) වල රස බැලීමට ලොකු කුඩා හැමෝම හරි කැමතියි.
බැදපු අල පෙති(French fries), බැදපු මාලු (Fried fish), බැදපු කුකුල් මස් (Fried chicken), බැදපු හාල් මැස්සෝ (Fried sprats) හා බැදපු කරවල (Fried dried fish) වගේ කෑම මතක් වෙනකොටත් හරිම ආසයි නේද?
අපි මේ තරම්ම ගැඹුරු තෙලේ බැදපු ආහාර වලට කැමති, ඒ ආහාරවල තියෙන සුවඳ, රස, ආකර්ෂණීය බව වගේම ඒවා ආහාරයට ගන්නකොට කර කර ගාලා හැපෙන ගතියකුත් තියෙන නිසා.
අපි හිතන්න ඕන විශේෂම කාරණය තමයි, මේ කෑම පරිභෝජනයෙන් ලැබෙන පෝෂණීය ගුණය හා සෞඛ්‍යමය බලපෑම.
මුලින්ම අපි බලමු ගැඹුරු තෙලේ බැදපු කෑම වල තත්වය හා සෞඛ්‍යාරක්ෂිත බවට බලපාන සාධක මොනවද කියලා.
අපි භාවිතා කරන තෙල් වර්ග හා ඒවායේ ප්‍රමිතිය
බැදීමට ගන්නා ආහාරය සංයුතිය
බැදීමට භාවිතා කරන ඉහළ උෂ්ණත්වය හා කාලය

වෙළඳපොලේ විවිධ වර්ගයේ තෙල් වර්ග තිබුණත්, අපි තෝරාගත යුත්තේ ගැඹුරු තෙලේ බැදීමට සුදුසු තෙල් වර්ගයක්. ඒ කියන්නේ මෙහිදී අපි විශේෂයෙන් තෙල් වල සංයුතිය ගැන සලකා බැලිය යුතුයි. තෙල්වල සංතෘප්ත මේද අම්ල (Saturated fatty acids) හා අසංතෘප්ත මේද අම්ල(Unsaturated fatty acids) කියලා මේද අම්ල වර්ග දෙකක් අඩංගුවෙනවා. ගැඹුරු තෙලේ බැදීමට සුදුසු වන්නේ සංතෘප්ත මේද අම්ල බහුල පොල්තෙල් වගේ තෙල් වර්ගයි.

මීළඟට අපි බලමු තෙල්වල ප්‍රමිතිය කොහොමද බලපාන්නේ කියලා.තෙල් නැවත නැවත භාවිතය අද බහුලව සිදුවන දෙයක්. මෙය ඉතා භයානක සංසිද්ධියක් වනනිසා අපේ සෞඛ්‍ය ගැටලුවලට ගොඩක් මුලපුරනවා.
තෙල් නැවත නැවත ගැඹුරු තෙලේ භාවිතා කිරීමේදී අහිතකර මේදය (Trans fats and polymarized toxic compounds) නිපදවීම සිදුවන බව ඔබ දන්නවාද?
මෙම Trans fats, රුධිර කොලෙස්ටරෝල් මට්ටම, රුධිර පීඩනය හා හදවත් රෝග අවදානම වැඩි කිරීමට හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ රුධිරයේ අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම (LDL) වැඩි කිරීමට හා හිතකර කොලෙස්ටරෝල් මට්ටම (HDL) අඩු කිරීමට බලපානවා.
මීට අමතරව අපි ගැඹුරු තෙලේ බැදීමේදී ඉතා අධික උෂ්ණත්ව හා දිගු කාලයක් භාවිතා කළහොත් ඒවා අහිතකර මේද (Trans fats and polymarized toxic compounds) නිපදවීමට තුඩුදෙන කාරණා වෙනවා.
තවද තෙල් නැවත නැවත ගැඹුරු තෙලේ බැදීමේදී ඇතිවන Polymerized toxic compunds (Acrylamide, Heterocyclic amines, polycyclic aromatic hydrocarbons, Aldehydes and Acrolein)පිළිකා කාරක බව බොහෝ විද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා.
නිකමටවත් හිතුවද ගැඹුරු තෙලේ බැදපු කෑම රස කර කර කන කොට මේ වගේ සෞඛ්‍ය අනාරක්ෂිත බවට මුලපුරන බව???
ඒ නිසා අපි ගැඹුරු තෙලේ බැදපු ආහාර ගැනීමේදී දෙපාරක් හිතමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here