නිය කියන්නේ රූපලාවණ්‍ය කටයුතු වලදී ඔබ විසින් අවධානය යොමු කළ යුතුම වන ශරීරාංගයක්.නිය සම්බන්ධයෙන් අවදානය යොමු කරද්දි මතුවන ගැටලු කීපයක් පිළිබඳවයි පහතින් කියැවෙන්නේ.

ඉක්මනින් කැඩෙන සුළුයි.

සමහර කෙනෙක්ට නිය සම්බන්ධයෙන් තියෙන ලොකුම ගැටළුව තමයි ඉතාම ඉක්මනින් නිය පළුදුවීමග කැඩීයාම. මේ නිසා ලස්සනට නිය කපාගන්න වගේම වවාගන්නත් අපහසුයි. ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නෙ විටමින් හෝ කැල්සියම් ඌනතාවයක් ඇති වෙලාවට. නැතිනම් ඛනිජ ඌනතාවක් ඇතිවෙලාවට. ඒ නිසා ඉක්මනින් කැඩෙන දුර්වල නිය තියෙන කෙනෙක් ඉස්සෙල්ලාම වෛද්‍ය උපදෙස් මත තමන්ට ඇති ඌණතාවයට පළමුවෙන්ම ප්‍රතිකාර ගන්න අවශ්‍යයි. ඒ වගේම කැල්සියම් විටමින් අඩංගු ආහාර වර්ග වැඩිපුර ශරීරයට එකතුකරගන්නත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

දුර්වර්ණයි

නිය සම්බන්ධයෙන් මතුවන අනෙක් වැදගත්ම ගැටළුව වන්නෙ නිය අවපැහැ ගැන්වීම. මේ නිසා බොහෝ විට මානසික ප්‍රශ්න පවා ඇතිවෙනවා. සාමහරවිට නිය දුර්වර්ණ වන්නේ නියපොත්තේ ආබාධයක් නිසා නොවෙන්නත් පුළුවන්. අක්මාරෝග, හෘද රෝග, වකුගඩු රෝග ආදී තත්වයන් නිසාත් මේ විදියට නිය අවපැහැගැන්වෙන බව වෛද්‍යවරු තහවුරු කරලා තිබෙනවා. මේ නිසා නිය අවපැහැගැන්වීමකදී වහාම වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ගතයුතුමයි. මේ ගැටළුවට තිබෙන ඉතාම තාවකාලික ප්‍රතිකාරය වන්නේ නිය ආලේපන පාවිච්චි කිරීම. නමුත් ඇතැම් විට මෙලෙස නිය දුර්වර්ණ වීමට හේතුව වන්නෙත් වැරදි පිළිවෙලට නිය ආලේපන ගැල්වීම වන්න පුළුවන්. මේ නිසා නිය ආලේපන කෙරෙහි වැඩිපුර උනන්දුවෙන කෙනෙක් නම් රූපලාවන්‍ය උපදෙස් ලබාගැනීමත් අත්‍යවශ්‍යයයි.

වැඩීම හෙමින්

නිය සම්බන්ධයෙන් තිබෙන තවත් ප්‍රශ්නයක් තමයි බලාපොරොත්තුවන තරම් වේගයෙන් නියපොතු වර්ධනය නොවීම. මේ නිසා නියපොත්තේ හැඩය වගේම නිරෝගීබවත් ප්‍රශ්නකාරී වෙනවාග නියපොතුවල වර්ධනය හීනවන්නෙත් බොහෝ විට පෝෂණ ඌනතාවක් නිසා වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ළඟ තිබෙන වැරදි පුරුදු නිසාත් මේවගේ තත්වයන් ඇතිවනවා. නිතර නිය හැපීමේ පුරුද්ද, අවශ්‍ය වෙලාවට නිය නොකැපීම වගේ නරක පුරුදු නිසා නියපොතුවල වැඩීම බාල වෙනවා. බොහෝ විට මෙවැනි ප්‍රශ්න වැඩිපුර මතුවන්නෙ දෙපා වල නියපොතු සම්බන්ධයෙන්. අපි පළඳින පාවහන් නිසා පාදයේ නිය වර්ධනයට හානි පැමිනවෙන්න පුළුවන්. නිතර පිරිසිදු කිරීමත්, අවශ්‍ය වෙලාවට නිය කැපීමත් මගින් මෙම තත්ව මගහරවාගත හැකියි.

මීට අමතරව නිය ඉරිතැලීම, බොල් වීම,නිය මල් වගේ ප්‍රශ්නත් දකින්න ලැබෙනවා. නිය බොල්වීමට සමහරවිට නියපොත්තට බාහිරින් සිදුවූ හානියක් බලපානවා වෙන්නත් පුළුවන්. එසේ නැත්නම් ඒ තත්වය වෙනත් රෝගී තත්වයක් නිසා ඇතිවුණා වෙන්නත් පුළුවන්. බොල් නිය ඇතිවීමට නිය ආලේපන දිගින් දිගටම භාවිතා කිරීමත් හේතුවක්. විශේෂයෙන්ම වැරදි ක්‍රමයට නිය ආලේපන භාවිතා කිරීම නිසා තමයි එවැනි ගැටළු පැනනගින්නෙ. ඇතැම් අවස්තාවල නියපොත්තේ ආසාදන තත්වයන් නිසා දැඩි වේදනාකාරී තත්වයන් ඇතිවනවා. එවන් විටක වෛද්‍ය උපදෙස් කරා යොමුවිය යුතුයි.

මේ විදියට අපිට අපේ නිය ලස්සනට පවත්වාගෙන යාමේදී මතුවන ගැටළු බොහොමයකට විසදුම් ආහාර මගින් සහ අපේ ඇවතුම් පැවතුම් මගින් පාලනය කරගන්න පුළුවන්. නිතර නිය පිරිසිදුව තබාගැනීමෙන් වගේම නිය කටර් එකක උපකාරයෙන් නිය කැපීමෙන් නියපොත්තේ ස්වභාවික වර්ධනයට උදව්වක් වෙන්න අපිට හැකියි. විශේෂයෙන්ම අපි ගන්නා ආහාර වේලට ස්වභාවික පළතුරු එළවළු එක්කර ගැනීමෙන් වඩා දීප්තිමත් වගේම සවිමත් නිය පෙළක් ලබාගන්න පුළුවන්.

කාන්තාවන් නිය අලංකරණය සම්බන්ධයෙන් බොහෝ සෙයින් උනනදුයි. නමුත් නිය ආරක්ශාකරගැනීම සම්බන්ධයෙන් ඔවුන් එපමණටම උනන්දු නැහැ. දෙඅත් පිරිසිදු කිරීමේදී විශබීජ නාශක දියර එක් කළ මදක් උණුසුම් වතුර භාජනයක දෑත් පෙඟවීම, නිය කැපීමේදී රවුම් හැඩයට හෝ හතරැස් හැඩයට කැපීම සිදුකිරීම වැනි ඉතාම සරල ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අපි කාටවුනත් අපහසු නැහැ.

නිය අලංකරණයේදී අනිවාර්යයෙන්ම අපි අපේ ඇඟිලි ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ. රැළි වැටුණු දුර්වර්ණ වුණ පාදයක හෝ අතක ඇඟිලි නිසා නිය අලංකරණය ගැන අදහසක් තියාගන්න බැහැ. ඒ නිසා ඇඟිලි ගැනත් සැළකිලිමත් වෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here