පිලිකවෙන් පෙළුන ඇය බුදු දහම පිහිට කරගත් හැටි
දොස්තරලා කියන්නෙ මට තියෙන්නෙ හමේ පිළිකාවක්ලූ. එ්කයි මේ තුවාල කොයිතරම් බෙහෙත් දැම්මත් හොඳ නො වෙන්නෙ. සැරව වැක්කෙරෙනවා. පණුවො ගහන තරමට ම කුණුවෙලා ගඳ ගහනවා. දැන් මට ම මාව අප්පිරියයි. පිළිකුලයි. මං හිතපු පතපු ලෝකය ද මේ! ළඟා වෙන්න දඟලපු දේ ද මේ! මං ඉන්නේ පිළිකා රෝහලේ තිබෙන වාට්ටුවක. මේක මහ අප‍්‍රසන්න තැනක්. හරියට ම මස් කඩයක ඉන්නවා වගේ. එක එක ජාතියේ පිළිකා හැදිච්ච කට්ටිය. එ් අයගේ සිරුරුවලින් විවිධ කොටස් ඉවත් කරලා තියෙන්නෙ. අමාරු ලෙඞ්ඩු කෙඳිරි ගානව මහාෙ වේදනාවකින්. වේදනාව වැඩි වෙනකොට සමහරු හයියෙන් බෙරිහන් දෙනවා. පිහිට ඉල්ලනවා. හයියෝ! මොකක්ද මේ ලෝකය? මං හීනෙන්වත් හිතුව ද මෙහෙම තැනක බෝඩිං වෙන්න. මේවා මෙහෙම වුණේ කාගේ වැරැද්දෙන් ද? කොහොම වුණත් මගේත් මෝඩකම තමයි කියලා මට දැන් තේරෙන්න පටන් අරන්. මට බැරි වුණානෙ හරියට නුවණ පාව්ච්චි කරන්න.මං ඉස්සර හැම වෙලේ ම හිතුවෙ ලස්සන කෙනෙක් වෙන හැටි ගැන. මං ආශ‍්‍රය කළෙත් මගේ අදහස්වලට ගැළපෙන යාළුවෝ තමයි. මං මුලින් ම හිතුවෙ ගමේ අවුරුදු කුමාරි වෙන්නයි. එ්ක හරි ගියා. ඊට පස්සෙ මෝස්තර නිරූපිකාවක් වෙන්න අවස්ථාව ලැබුණා. මං මගේ රූපෙ හින්දා හොඳට සල්ලි හෙව්වා. එක එක තරගවලින් දිනපුවා ම මගේ පින්තූරෙ එක එක පත්තරවල පළ වුණා. ටෙලි නාට්‍යවල, චිත‍්‍රපටිවල රඟපාන්න එහෙමත් ආරාධනා ලැබුණා. දැන් මං කියන්නම් මම ලස්සන වෙන්න කරපු දේවල් ගැන. මට උපතින් ම ලස්සන රූපයක් ලැබුණා. එ්ත් එ් ගැන මං සෑහීමට පත්වුණේ නෑ. මං රූපවාහිනියේ, පත්තරවල තියෙන වෛවාරණ ක‍්‍රීම් ජාති ගෑවා. හම ලස්සන කර ගන්න හිතාගෙන. ඇත්තටම එ්වයෙ ගුණයන් මට දැනුණ හින්දා මම මේ ක‍්‍රීම් ජාති දෛනිකව පාවිච්චි කළා. නිතර ම කොණ්ඩෙ ෂැම්පු කළා. පස්සෙ පස්සෙ මට මේවා නැතුව ම බැරි වුණා. එ්ත් මට යහමින් සල්ලි තිබුණ හින්දා එ්ක ප‍්‍රශ්නයක් වුණේ නෑ. යාළුවන්ටත් මම මේ ක‍්‍රීම් ජාති බොහොම කරුණාවෙන් හඳුන්වලා දුන්නා. එයාලත් කැමති ඇතිනේ මං වගේ ලස්සන වෙන්න. අනේ මං වගේ මෝඩියෙක්! මේ ක‍්‍රීම් ගැන කියමින් මං රූපවාහිනී සාකච්ඡුා, පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලටත් නිතර සම්බන්ධ වුණා.

මේ නිසා මට රූපවාහිනී උපදේශිකාවක් වශයෙන් ගොඩක් ගෞරව සම්මාන ලැබුණා. සල්ලිත් ලැබුණා. රට රටවල ගියා. තව දෙයක් කියන්න ඕනෙ කණගාටුවෙන් වුණත්. මම ඔය ස්වභාවික පෝෂක වර්ග අඩංගු කරලා හදනවයි කියන එක එක ජාතියෙ පෙති වර්ග පාවිච්චි කළා විවිධ අවශ්‍යතා සපුරාගන්න. එ් කිවුවෙ මහත් වෙන්න. මහත වැඩි වුණා ම කෙට්ටු වෙන්න, කාර්යබහුල නිසා ආහාර ගැනීම අතපසු වෙනකොට බඩගින්න නිවාගන්න, කොණ්ඩෙ වැවෙන්න, ශක්තිය වැඩි වෙන්න වගේ දේවල්වලට. අනේ මේවා පෙති වශයෙන් විතරක් නෙමෙයි! පාන වර්ග, සබන් වර්ග, ගුලි වර්ග, ආහාර වර්ග, දත්බෙහෙත් වර්ග ආදි නානාවිධ ක‍්‍රමයට වෙළඳ පොළේ තරගෙට විකුණනවනෙ. මට උයන්න පිහන්න කාලය යන හින්දා මං නිතර ම කෑවෙ කඩෙන්. බොහෝ විට ක්‍ෂණික ආහාර. එ් කාලේ මගේ සිහිනය වුණේ මේ ක්ෂේත‍්‍රයේ කිරුළ පලඳින්න. ‘‘මේ දේවල් අපිට ආදරේට හදන දේවල් නෙවෙයි. ඕව ශරීරයට අහිතකරයි. හරි විසයි.” කියල කියන කොට මං එ් අයට හිනා වුණා ‘‘බක පණ්ඩිතයෙක්” කියලා මහා මාන්නෙකින්. අනේ මං වගේ මෝඩියෙක්. දැන් ඉතිං මොනව කරන්න ද? ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බැරිලූනේ.මං මේ ලිපිය ලියන්න හිතුවෙ ඔයාලාවත් මේ මායා වසංගතයෙන් බේරගන්න උදව්වක් කරන්න ඕනෙ කියලා හිතාගෙනයි. අනේ මේක කියවන ඔයාලා ලස්සන වෙන්න කියලා එක එක දේවල් කරලා අමාරුවෙ වැටෙන්න එපා. මං මෙහෙම කියන්නෙ ඉරිසියාවට නෙමෙයි. මේ වැටුණ වලේ ඔයාලත් වැටෙනවට ඇත්තටම අකමැති හින්දයි. මුළු සමාජය ම බොරුවෙන් මායාවෙන් වැහිල අද. විකුණුම් ප‍්‍රවර්ධනය විතරයි බොහෝ ව්‍යාපාරිකයන්ගේ ඉලක්කය.මගේ ශරීර වේදනාවල් මට තනිය ම උහුලන්න සිද්ධවෙලා. ලැබිච්ච රූපෙ ගැන සතුටුවෙලා තියෙන විදියකට ජීවත් වුණා නම් කොච්චර හොඳ ද කියලා දැන් තමයි හිතෙන්නෙ. අනේ අවාසනාවක මහත. ලස්සන වෙන්න හීන දකින ඔයාලට කටක් ඇරල එළවළු පලතුරුවත් කන්න කියන්නෙ කොහොම ද? එ්වත් ඉක්මනට වැඩි ඵලදාවක් ගන්න කියලා හදන්නේ වස විස ගහලනෙ. හදල කල් තියාගන්නෙත් වස විස ගහලනෙ. වෙන එකක් තියා අද අපට බත් කටක් කන්න පුළුවන් ද බය නැතුව?ඇත්තටම මේවා කරන, මේවට අනුබල දෙන උදවිය මිනිස්සු ද? එහෙමත් නැත්නම් යක්කු ද? සල්ලිවලින් හැම ප‍්‍රශ්නෙ ම විසඳෙයි ද? මිනිස්සුන්ව සරුව පිත්තල ලෝකවල අතරමං කරලා ලබන දියුණුව මොකක්ද? මේවා කාගෙන් අහන්න ද? කාට කියන්න ද? මේවා හිතන කොට මට නම් ඔළුව විකාර වෙනවා. මගේ තුවාලවලටත් වඩා කැක්කුම් දෙන්නේ හිත.මෙහෙම ජීවිතය එපා වෙලා පිළිකා වාට්ටුවට වෙලා බොහෝම වේදනාවෙන් හිටපු මට අහම්බෙන් මුණගැහුණා හරිම කරුණාවන්න නෝනා කෙනෙක්. අනේ ඈ කොයිතරම් නම් කරුණාවන්ත ද! හැම වෙලේ ම අපිට ආදරෙන් කතා කරනවා. හිත සනසවනවා. මම ඇහුවා ඔයා කොහොම ද ඔය තරම් කරුණාවන්ත වුණේ කියලා. ඈ කිව්වා ඇය බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක දියණිවක් වූ දා පටන් තමයි මේ පරිවර්තනය වුණේ කියලා. ඇය මේ සේවයට ආවේ බුද්ධ උපස්ථාන කරන්න ලැබෙන නිසා කියලා ඈ කිව්වා.

මං උපතින් ම බෞද්ධ වුණාට ඔය ආගම දහම ගැන මගේ ඔය තරම් උනන්දුවක් තිබුණෙ නෑ. එ්ත් මේ හැබෑ ම කරුණාවන්ත ගතිගුණ තියෙන හෙද තුමිය මාව වෙනස් කළා. මං ඇයගෙන් ඉල්ලා සිටියා ඇයව වෙනස් කරපු එ් සම්බුදු පියාණන් ගැන මටත් කියලා දෙන්න කියලා. ඇය හරි ම අහිංසක හිනාවක් පාලා මගේ ඔළුව අත ගාලා මට බුදු ගුණ එකින් එක ලස්සනට කියලා දුන්නා. ‘අනේ එ් බුදු පියාණන් වහන්සේ කොයිතරම් හොඳ ද? මිනිස්සුන්ට කොයිතරම් ආදරේ කරපු කෙනෙක් ද?’ කියලා. එතකොට තමයි මං තුළ මා ගැනත්, සමාජය ගැනත් ඇවිලූන වෛර ගින්න නිවිල ගියේ. එ් බුදු පියාණන් වහන්සේගේ ශ‍්‍රාවක දියණියක් වන්නට මටත් ඇත්නම් යන පහන් සිතුවිල්ල හද පත්ලෙන් ම පැන නැග්ගා. උඩින් එකක් පෙන්නල යටින් එකක් කරන මායාවලින්, සට කපටකම්වලින්, වංචාවලින් පිරුණු සමාජයක වෙසෙන අපට ඇති සදා පිළිසරණය, සදා රැකවරණය, එක ම සැනසිල්ල එ් අරහත් භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිස වෙන කවරෙක් ද?ඉන්පසු ඇය හැමදාම මාව බලන්න එනකොට මට බුද්ධ දේශනා අඩංගු සරල බසින් ලියවුණ පොඩි පොත් ගෙනැවිත් දුන්නා. මම සිතින් සිය දහස් වාරයක් නර්ස් නෝනට පින් දෙමින් එ් බුද්ධ දේශනා කියෙව්වේ පිපාසිත කෙනෙක් වතුර බොනවා වගේ හරි ම ආසාවෙන්.මට හිතෙන්නෙ ඊට පස්සෙ තමයි මම ඇත්තටම උපන්නෙ. එතකල් මම කරල තියෙන්නෙ මායා ලෝකෙ හීනෙන් ඇවිදපු එක. බුද්ධ දේශනා හරිම විස්මයජනකයි. එයින් තමයි මම රූපෙ ගැනත් දැනගත්තෙ. දැන් මට මගේ රූපෙ ඇති අසාර ස්වභාවය ඇත්ත මට මා තුළින් ම දැනගන්න පුළුවන් වෙලා තියෙනවා.මං කියෙව්ව ලස්සන බුද්ධ දේශනාවක් තමයි නකුල පිතු සූත‍්‍රය. අර ‘ගතින් ලෙඩ වුවත් සිතින් ලෙඩ නො වී ඉන්න හැටි’ කියන දෙසුම. මට මේ දෙසුම ලොකු ශක්තියක් වුණා. අන්තිමේ දී හරි ඉස්පිරිතාලේ ලෙඩ ඇඳේ ඉන්න කොට වුණත් මට සැබෑම ලස්සන දෙයලැබුණානේ. මං ලස්සනද කියලා මං දැන් කණ්නාඩියෙන් මූණ බලන්නෙ නෑ. මං දන්නවානේ හිතින් මං ලස්සනයි කියල.හැබැයි එ් මගේ බුදු පියාණන් වහන්සේටයි, මට මඟ පෙන්වපු නර්ස් නෝනටයි පින්සිදු වෙන්නයි. මෙබඳු හෙදියන් සියදහස් ගණනින් සෑම රෝහලක ම බිහිවෙනවා නම් ගිලනුන් හට කොයිතරම් නම් දිව ඔසුවක් වෙයි ද?(සටහන
පිළිකා රෝහලේ ප‍්‍රතිකාර ලබන නැගණියක් විසින්.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here