ග්ලෝකෝමා තත්ත්වය ඇතිවන්නේ කෙසේද?

0
310
ග්ලෝකෝමා තත්ත්වය ඇතිවන්නේ කෙසේද?https://nawaliya.com/wp-content/uploads/2019/04/38036900_1513436148760485_8237351131714420736_n.jpg

ඔබේ පෙනීම අහිමි කරන ග්ලෝකෝමා

ග්ලෝකෝමා තත්ත්වය ඇතිවන්නේ කෙසේද?

සාමාන්‍ය ව්‍යවහාරයේදී ඇසේ ප්‍රෙෂර් එක ලෙසින් ග්ලෝකෝමාව හඳුන්වනු ලැබේ. මෙය ඇත්තෙන්ම ඇසේ පීඩනය නිසා වන තත්ත්වයක් වන අතර එහිදී සිදුවන්නේ ඇසේ දෘෂ්ටි ස්නායුවට ක්‍රමයෙන් හානි සිදුවීමයි. දෘෂ්ටි ස්නායුව මඟින් ඇසේ තිබෙන ප්‍රතිබිම්භ මොළය දක්වා රැගෙන යන අතර ඊට හානි සිදුවීමෙන් එම ක්‍රියාවලිය අඩපණ වීමක් සිදු වේ. මේ නිසා අපගේ පෙනීම අඩු වී යනු ලැබේ. මෙය සම්පූර්ණ අන්ධ භාවය දක්වා ද විය හැකියි. මෙම රෝගී තත්ත්වයේ භයානක කම වන්නේ මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ පහළ නොවීමයි. මේ නිසා නිවැරදිව රෝගී තත්ත්වය හඳුනා ගැනීම ඉතා අපහසු වේ. ඒ අනුව ග්ලෝකෝමා යනු ඉතා භයානක රෝගී තත්ත්වයක් වශයෙන් හඳුන්වාදිය හැකි වේ.
ඒ වගේම මෙම ග්ලෝකෝමා නිසා ඇතිවන අන්ධ භාවය නැවත යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වීම ද ඉතාමත් බරපතල ගැටලුවකි. මෙම අන්ධ තත්ත්වයට පත් වුණු අයෙකුගේ පෙනුම යථා තත්ත්වයට පත් කිරීමට ශල්‍යකර්ම හෝ වෙනත් කිසිදු ප්‍රතිකර්මයකට නොහැකි වේ. ඒ නිසා තමාට ඇතිවන රෝග ලක්ෂණ හරහා මූලිකව රෝගය හඳුනා ගැනීම හා ඊට අදාළ ප්‍රතිකාර හැකි ඉක්මනින් යෙදීම හරහා රෝග තත්ත්වය තරමක් දුරට පාලනය කළ හැකි වේ.
ඇසේ ඉදිරිපස (කාචය සහ ඉදිරිපස) කොටස යම් වතුර වැනි තරලයකින් නිර්මාණය වී ඇත. එම තරලය නිෂ්පාදනය වන ප්‍රමාණය හා ඉවත් වන ප්‍රමාණය අතර යම් සමතුලිත තාවක් තිබේ. නමුත් මෙම ක්‍රියාවලිය අසමතුලිත වීම මත එම තරලය ඇස තුළ ඉතිරි වීමක් සිදු වේ. මේ නිසා ඇසේ ඉදිරිපස කොටසේ යම් පීඩනයක් ඇති වේ. මෙම පීඩනය නිසා ඇසේ දෘෂ්ටි ස්නායු ස්තරයට යම් හානියක් සිදු වේ. එමඟින් මෙම දෘෂ්ටි ස්නායු තන්තු ක්‍රම ක්‍රමයෙන් මැරීමට ලක් වී මුළුමනින්ම වුවත් දෘෂ්ටි ස්නායුවට හානි වී ග්ලෝකෝමා තත්ත්වය ඇති විය හැකියි.

ග්ලෝකෝමාවල විවිධ අවස්ථා මොනවාද? ඒ අතුරින් ලංකාවේ බහුලව දැකගත හැකි තත්ත්ව මොනවාද?

මෙම ග්ලෝකෝමා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒවා Open angle glaucoma සහ Closed angle glaucoma වේ. මේ අතුරින් බහුලව දැකගත හැක්කේ Open angle glaucoma තත්ත්වයයි. Closed angle glaucoma තත්ත්වය මැදි වයසේ පුද්ගලයන්ට විශේෂයෙන් ඇතිවිය හැකියි. තවද මැදිවියේ කාන්තාවන්ට මේ තත්ත්වය සුලබව දැකගත හකි වීම ද විශේෂ වේ. නමුත් මෙම Closed angle glaucoma තත්ත්වයේදී නම් පැහැදිලිව රෝග ලක්ෂණ දැකගත හැකි වේ. එහිදී හිස කැක්කුම ඇති වීම හා වමනය රෝග ලක්ෂණ ලෙස දැක්විය හැකියි. නමුත් එම රෝගී තත්ත්වය ඒ තරම් සුලබ රෝගි තත්ත්වයක් නොවන බවද විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.
මීට අමතරව තවත් විශේෂිත රෝග ලක්ෂණ සහිත වෙනත් ග්ලෝකෝමා වර්ග ද තිබේ. මෙම ග්ලෝකෝමා තත්ත්ව ඇති වීමේදී ඇසට සිදුවන අනතුරු නිසා දියවැඩියාව වැනි රෝග තත්ත්ව හේතුවෙන් ද ග්ලෝකෝමා තත්ත්වයන් ඇතිවිය හැකියි. මෙම රෝග තත්ත්වය සාමාන්‍යයෙන් වයස අවුරුදු 60 ඉක්ම වූ අය අතර සුලබව දැකගත හැකි තත්ත්වයක් වුවත් පොඩි දරුවන්ටත් ග්ලෝකෝමා තත්ත්වය ඇතිවිය හැකියි. දරු උපත් 10000ක් අතුරින් එකක් බොහෝදුරට මෙම රෝගී තත්ත්වයේ පෙර නිමිත්තක් විය හැකියි. නමුත් දරුවන්ට ඇතිවන ග්ලෝකෝමාවල පූර්ව රෝග ලක්ෂණ හඳුනාගත හැකි වේ. ඒ ලක්ෂණ අතර කඳුළු ගැලීම, එළිය බැලීමට අපහසු වීම ආදිය වේ. ඒ වගේම කළු ඉංගිරියාව විශාල වීම ද දරුවකුගේ ග්ලෝකෝමා තත්ත්වයේ රෝග ලක්ෂණයකි.

ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ දීර්ඝකාලීනව භාවිතයත් ග්ලෝකෝමාවලට හේතුවක් ද?

ඇතැම් වෛද්‍යවරු නියම කරන ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව ඇතැම් අය දිගින් දිගටම භාවිතා කරනු ලැබේ. විශේෂයෙන් ප්‍රෙඩ්නිසිලෝන් වැනි ඖෂධ දිගින් දිගටම භාවිතා කිරීම නිසා නොදැනුවත්වම ඇස ග්ලෝකෝමා නිසා පරිපූර්ණ අන්ධභාවයට පත්විය හැකියි. ඒ වගේම ඇතැම්, ඇසට බින්දු වශයෙන් දමන ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව දිගින් දිගටම භාවිතා කිරීමට යාම නිසාද ඇසේ මෙවැනි රෝග තත්ත්ව ඇතිවිය හැකියි.

රෝගය හඳුනා ගැනීමට තිබෙන තත්ත්ව මොනවාද?

ඔබ නිරන්තරයෙන් තමාගේ ඇස් පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතුයි. ඊට හේතුව ඔබටත් නොදැනීම ඔබ ග්ලෝකා්මා රෝගියෙක් බවට පත්විය හැකි වීමයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 පමණ වනවිට ළඟ පෙනීමේ ගැටලු ඇතිවිය හැකියි. එවැනි විටෙක බොහෝදෙනෙක් සිදු කරන්නේ වෛද්‍ය නිර්දේශයකින් තොරව කණ්ණාඩි මිලදි ගැනීමයි. නමුත් වඩාත් නිවැරදි ක්‍රමය වන්නේ අක්ෂි සායනයකට ගොස් ඇස්වල පීඩනය එක් වරක් වත් මැන ගැනීමයි.
මෙය වෛද්‍යවරයෙකු ලවා සිදු කළ යුතුයි. විශේෂයෙන් මෙම අවධානය තමාගේ පවුලේ අයෙකුට ග්ලෝකෝමා තත්ත්වය තිබෙනවා නම් වැඩි කළ යුතුයි. අවිදුර දෘෂ්ටිකත්වය, ඇසට යම් වැදීමක් වැනි සිදුවීම් නිසාද මේ රෝග තත්ත්වය ඇතිවිය හැකියි. ඒ නිසා වයස අවුරුදු 40ට වැඩි අය එක් වරක් වත් ඇසේ පීඩනය මැන බලා ගත යුතුයි. ඒ වගේම ඇසේ යම් ගැටලුවක් ඉදිරියේදී ඇති වීමේ යම් අවදානමක් තිබෙනවා නම් ඒ පිළිබඳ කල්තබා දැනගත හැකි වේ.
එවැනි අවදානමක් තිබෙන අය වසර දෙකකට වරක් වත් ඇසේ පීඩනය මැන බලාගත යුතුයි.
සාමාන්‍යයෙන් ග්ලෝකෝමා ඇති ඕනෑම වයසක ඇති අයෙකුගේ ඇසේ පීඩනය සුදුසු වෛද්‍ය සායනයක් මඟින් නිවැරදිව තහවුරු කර ගත හැකි වේ. ග්ලෝකෝමා රෝගි තත්ත්වයේදී සිදුවන්නේ ඇස වටා ඇති පෙනීම ක්‍රම ක්‍රමයෙන් නැති වී ගොස් අවසානයේ සම්පූර්ණයෙන්ම නැති වී යාමයි. මේ සඳහා විවිධාකාරයේ ස්කෑන් පරීක්ෂණ ද සිදු කරන අතර මෙම පරීක්ෂණ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු විසින්ම නිර්දේශ කළ යුතු වේ.

මේ සඳහා පවතින ප්‍රතිකාර ක්‍රම මොනවාද?

ග්ලෝකෝමා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් අදාළ ප්‍රතිකාර යොදා රෝගය යම් පාලනයකට ලක් කළ හැකි වේ. මෙයට ප්‍රධාන වශයෙන් අවස්ථා 3කින් ප්‍රතිකාර යෙදිය හැකි වේ. ඒවා නම් බින්දු ලෙස ඇසට යොදන ඖෂධයි. දෙවැනි වර්ගය ලේසර් ප්‍රතිකර්මයි. අවසන් ක්‍රමය වන්නේ ශල්‍යකර්මයයි. නමුත් ශල්‍යකර්මවලදි එතරම් බියක් ඇති කර ගත යුතු නොවේ. ග්ලෝකෝමා නිට්ටාවට සුව කළ නොහැකි අතර සිදු කළ හැක්කේ යම් පාලනයක් පමණි.
නමුත් ඒවා නිතරම වෛද්‍ය උපදෙස් මත සිදු කිරීමට වගබලා ගත යුතුයි. ග්ලෝකෝමා තිබෙන විට රූපවාහිනිය නැරඹීම වැනි එදිනෙදා කටයුතුවල නිරත නොවිය යුතු බවට වැරදි මත ද තිබෙනවා. දුම්පානය නම් ග්ලෝකෝමා රෝගය තව තවත් උත්සන්න කිරීමට ප්‍රධාන වශයෙන් බලපාන නිසා ඉන් හැකි තරම් වැළකී සිටීම ඉතා වැදගත්.
ඇසට බෙහෙත් යොදන විට වඩාත් නිවැරදි ක්‍රමය වන්නේ මාසයක් වැනි කාලයක් තුළ භාවිතා කර අවසන් කිරීමයි. මසකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීම වැඩක් ඇත්තේ නැහැ. ඒ වගේම එම ඖෂධ තැබිය යුතු නියමිත උෂ්ණත්වය පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත්.
ඇසකට බෙහෙත් යොදන විට අත්වල පිරිසුදුකම ඉතා වැදගත්. ඒ වගේම ඇසේ පහත පිල්ලම ඇඟිල්ලෙන් පහළට කර එහි ඇති පොකට් එකක් වැනි තැනට දැමිය යුතුයි. හැමවිටෙකම බෙහෙත් බෝතලේ භාවිතා කළ පසුව එහි මූඩියෙන් බෝතලය වැසීම ඉතා වැදගත්.
එමඟින් බෙහෙත් වාෂ්පවිම හා බෝතලය තුළට විෂබීජ ඇතුල් වීම වළක්වා ගත හැකියි. බෙහෙත් බෝතලයේ තුඩ ඇසේ හෝ ඇසේ පිහාටුවල නොගෑවීමටත් වගබලා ගත යුතුයි. හේතුව එසේ සිදු වූවොත් බෙහෙත් බෝතලයට විසබීජ ඇතුල්විය හැකි වීමයි. බෙහෙත් යෙදීමෙන් අනතුරුව ඇස යන්තම් වසාගෙන මද වේලාවක් සිටීම වැදගත් වේ. නැත්නම් කදුළු සමඟ බෙහෙත් පිටතට පැමිණිය හැකි වේ.
ඒ වගේම යම්හෙයින් ඇසට බෙහෙත් ඇසට දැමූ නොගියා යැයි ඔබට දැනුණොත් ඒ මොහොතේම නැවත ඇසට බෙහෙත් යෙදීම ගැටලුවක් නොවේ. මෙම ඖෂධවල අතුරු ආබාධ බොහෝවිට අඩුවෙන් දැකගත හැකි නමුත් අසාත්මිකතාවක් ඇති වූ විට වෛද්‍ය උපදෙස් මත වෙනත් බෙහෙතක් කරා මාරුවීම ඉතා වැදගත්. ඒ වගේම බෙහෙත් විවිධ ගැටලු ඇති වූ පමණින් නවතා දැමීම කිසි විටෙකවත් නොකළ යුතු අතර නිසිවෙලාවට ඖෂධ භාවිතා කිරීමත් ඉතා වැදගත්.

රෑට ඇස්වලට බෙහෙත් දාන්න හොඳ නැද්ද?

ඇතැම් අය සවස 06න් පසුව ඇසට බෙහෙත් නොදැමිය යුතු බව පැවසුවත් එහි සත්‍යතාවක් ඇත්තේ නැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here