බලවත් රටක් තවත් රටක් අත්පත් කර ගන්නා ක‍්‍රම කීපයක් පවතී. හමුදා ආක‍්‍රමණයන් තුළින් භුමිය අත්පත් කර ගැනීම, ආගම් අතර බේදබින්න කර රට තුළ ගැටුම් ඇති කර ගැටුම් නිරාකරණය කරන මුවාවෙන් රට තුළට පැමිණ හමුදා ස්ථාපිත කිරීම, බෝ වන ලෙඩරෝග බෝ කිරීමෙන් වැනි විවිධ වූ උපක‍්‍රම මගින් බලවත් රටවල් අප රට මෙන් දියුණුවෙමින් පවතින රටවල් ආක‍්‍රමණය කරන ක‍්‍රමවේ.

මේ වනවිට අප රට වෙනත් රටක් අත්පත් කර ගෙන නැතත් අප රට මේ වනවිට චීනයෙත් ඉන්දියාවෙත් මනඃකල්පිත වූ රැල්ලකට ඇද දමා තිබේ.

කුමන හෝ මෝස්තරයක් අප රටට එවා රටේ නූගත් මිනිසුන්ගේ මුදල් (රටේ මුදල්) පිටරටට ඇද ගන්නා විදේශිකයින් විසින් මේ දිනවල සිතුපැතු සම්පත් දෙන ටයිගර් අයි නමින් ඇති මැණික් බව හඟවන අත් වළල්ලක් අලෙවි කිරීම සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී.

චීනයේ හා ඉන්දියාව වැනි රටවල්වලට අපේ සල්ලි ඇද ගන්නා මෙම කුට මැණික් ගල් සහිත ටයිගර් අයි වළල්ල අප රටේ තරුණයින්ගේ නවතම මෝස්තරය වී හමාරය.

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙම මැණික් ගල් සහිත වූ වළලූවල ඡුායාරූප දමා එකක් රුපියල් 2700, 1000, 5000 ක් වැනි මුදලකට නිවසටම රැගෙන ගෙනවිත් දෙන දැන්වීම් පළ කරමින් තිබේ.

මෙම දැන්වීම් මගින් කියවෙන පරිදි මෙම පළඳනාව අතේ පැලඳීමෙන් පුරුෂ ශක්තිය වැඩිවීම, මානසික ආතතිය නැතිවීම, සෞභාගය ලබාදීම, භූත පේ‍්‍රත දෝෂ දුරුවීම, ව්‍යාපාර දියුණුව, ඥානය වැඩිවීම වැනි නොසිතු සැපසම්පත් ලැබෙන බව මෙම දැන්වීම්වලින් කියවේ.

මේ වනවිට තරුණයින් රැසකගේ දෑත්වල මෙම අත් පළඳනාව දැක ගත හැකිය. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද මේ වැනි පළඳනාවක් පැළඳ සිටීම ආදර්ශයක් ගැනීමට තරුණයන් කි‍්‍රයා කිරීම මෝස්තරයේ ඇරඹීමක් බවද සමාජයේ කතිකාවකි.

මේ දිනවල උණු උණුවේ විකිණෙන මෙම අත් පළඳනාවේ ඇති මැණික් ගල් ලෙස ආලෙවි කරුවන් හඳුන්වන ගල් සැබෑ ශක්තියක් ගෙන දෙන ගල් ද යන්න සොයා බැලීම වැදගත්වේ.

මෙයට පෙර කාලයක් මොන්ඩියෙල් නමින් පළඳනාවක් ද රට තුළ මේ අයුරින් විකිණීම සිදුවිය. තවත් විටක සෞභාගය උදා කරන වාලම්පුරි (සිප්පිකටු කුඩු කර ව්‍යාජ ලෙස සකස් කරන) වාලම්පුරි විකිණීමක් ද රටේ පැවතිණි.

තවත් වරෙක විභාගවලින් ජය ලැබීමට පිරිත් පැන් බෝතල් කර විකිණීම සිදුවිය. තවත් වරක් (ඌරු තෙල් මිශ‍්‍ර කරන ලද) එළගිතෙල් පහන් දැල්වීමෙන් නිවෙස්වල දෝෂ දුරුවෙන බව පවසා ජනයාගේ මුදල් අදින ජ්‍යොතිෂවේදීන් ද තවමත් රටේ පවතී.

මැණික් රන් රීදි මුතු මැණික් සිය ශරීරයේ පැළඳීම අප රටේ පමණක් නොව විදේශීය රටවල්වල ද සිදු කරති. නවග‍්‍රහයින්ට අයත් නව රත්න මුදු පැළඳවීම, රන් රිදී මිශ‍්‍රකර ආභරණ වෙත ගල්වා පැළඳවීම, තඹ සුර දැමීම වැනි කි‍්‍රයා අදත් සිදුවේ. අතීතයේ දී යම් අයකුගේ හ`දහනක් බලා රාහු සෙනසුරු අපල ඇත්නම් බෝධි පූජා තැබීමෙන් හා නවග‍්‍රහ ශාන්ති කර්මවලින් හා අත්තකහා මැතිරවීමෙන් මෙන්ම කිරි අම්මාලා වෙනුවෙන් දාන දීමෙන් සිය දුක් කරදර සඳහා ශාන්තිකර්ම කර ගත් බව අප දන්නා දේවල්ය.

එහෙත් අද වර්තමානයේ පරිගණකයේ පිහිටෙන් හඳහන් ශාස්ත‍්‍රය ගැන තරමක් ඉගෙන ගත් ජ්‍යොතිෂඥයින් රටේ ජනයා අන්ධභාවයට පත් කර මුදල් ඉපයීම අරමුණු කර රටට විවිධ දේවල් හඳුන්වා දෙනු ලබයි.

මේ වනවිට රටේ ජනපි‍්‍රය ටයිගර් අයි පළඳනාව තුළ ග‍්‍රහයින්ට අයත් මැණික් ගල් විශේෂ පාෂාණයන්ගෙන් යුතු 08 ක් ඇති බව සඳහන් කරති. රුපියල් 2000 වැනි මුදලකට එවන් පාෂාණ සහිත වූ ගල් ඇල්ලූ පළඳනාවක් ලබා දීමට නොහැකිය.

මෙම පළඳනාවක් හොංකොං රටේ දී මිල දී ගත් ලාංකිකයකු පැවසුවේ තාක්‍ෂණය ආධාරයෙන් ශරීරයට අදාළ ග‍්‍රහයන් හඳුනාගෙන ඔහු මෙම පළඳනාවක් ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂයක් වැනි මුදලකට මිල දී ගත් බවයි.

මේ වනවිට කතරගම පුරා ද මාල වළලූ කඩවල මෙම අත් පළඳනාව විකිණීමට ඇත.

චීනයෙන් තොග පිටින් ගෙන් වන මෙම අත් පළඳනාවට සමාන ගල් ඇල්ලූ පළඳනාවන් ඉන්දියාවේ චෙන්නායි නගරයේ (පූකඩ) මල්කඩවල තොග පිටින් විකිණීමට පවතී. එහි එක පළඳනාවක මිල රුපියල් 130 වැනි මුදලකි.

සැබැවින්ම මෙම මැණික් සහිත වූ පාෂණ ලෙස හුවා දක්වන මෙම පළඳාවන් ප්ලාස්ටික් හා වීදුරු මිශ‍්‍ර කර ව්‍යාජ ලෙස සැදූ පළඳනාවන් වේ.

මෙම පළඳනාවන් ලංකාවට රැගෙනවිත් එය දිදුලන සේ පිරිමැද විශේෂිත වූ ආවරණ පෙට්ටියක් තුළ දමා අදාළ බොරු බේගල් දැන්වීම් දමා විකිණිම සිදු කරති.

මෙයට සහතික ලෙස රජයේ මැණික් සම්බන්ධව ඇති ආයතනවල ද සහතික ඇති බව පවසා මෙම වෙළෙඳුන්ම සකස් කර ගත් සහතිකයක් මගින් මෙම කුට අත් පළඳනාවන් මේ වනවිට ගජරාමේට ලංකාවේ පුදබිම් මුල් කරගෙන අලෙවි කරමින් පසුවේ.

මේ සම්බන්ධව රජයේ අවධානය යොමු වීම මෙන් මෙම පළඳනාවන් මිල දී ගන්නා ජනයා ද සැබෑම අත් පළඳනාවක් ද කියා විමසිම තුළින් තමන් රැවටෙන මිථ්‍යාවෙන් බේරීමට හැකිය.

කතරගම කේ. ඞී. දේවපි‍්‍රය
(දිවයින)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here