ලකී ප්ලානට් ලෙස මෙරට ප්‍රචලිත Zanzibar gem ( Zamioculcas zamiifolia) ශාකය ඉතා විෂ සහිත සහ පිළිකා කාරක ශාකයක් ලෙස හැදින්වීමක් මෑතක සිට අැති බව අප සැවොම දනිමු. ඉතා අලංකාර ශාකයක් වන මෙයින් අද්භූත වූ වාසනාවක් ගෙනෙනවාදැයි කීමට මා නොදන්නා නමුත් ඉහත කිවු ප්‍රචාරය නිසාමදෝ මෑතක සිට දෙමාපියන් කුඩා දරුවන් රැගෙන මා වෙතට පවා පැමිණ අැත්තේ විවිධ පැමිණිලි සමඟයි.
” ගහේ කොල කැඩුවා, කොල කෑවා, කිරි ගෑවුනා, කඳ පොඩිකරා” වගේ පැමිණිලි තමයි සුලභ.

අැත්තටම මොකක්ද මේ ගහ?

නැගෙනහිර අප්‍රිකාව නිජබිම වුනු මේ ශාකයට ගෘහස්ථ අලංකරණ ශාකයක් විදියට (indoor plant) වාණිජ වටිනාකමක් පසුකාලීනව ලැබෙනව. එ්කට ප්‍රධාන හේතුවක් තමයි ඉතා අඩු ජල සැපයුමකින් සහ අඩු අලෝකයකින් වුවද අලංකාර හරිත පැහැයෙන් බැබලීමට හැකි වීම. මෙහි අර්තාපල් අලයක් වැනි මූලාකන්ධයට මාස හතරක් පමණ නොමැරී ඉන්න හැකි බව කියවෙනවා.
කෝපන්හේගන් විශ්වවිද්‍යාලයෙන් කරපු පරීක්ෂනයකින් හෙළිවුනා මේ ශාකයට වාතය පිරිසිදු කිරීමේ විස්මිත හැකියාවක් තිබෙන බව, ඔවුන් ඔප්පු කලා මිනිසාට අහිතකර වාෂ්පශීලී කාබනික සංයෝග ( බෙන්සීන්, ටාෙලුයීන්, එතිල් බෙන්සීන්, ක්සයීලීන් වැනි) උරා ගැනීමට සහ වාතයේ දුඟද නැති කිරීමට මෙම ශාකයට හැකි බව.

අැත්තටම මොකක්ද මේ විස කතාව???

මෙම ශාකයේත් තවත් බොහෝ ශාක වලත් කැල්සියම් ඔක්සලේට් නම් සංඝටකය අඩංගුයි. ගසේ මුලේ, කඳේ සහ පත්‍ර වල මේවා තිබෙනවා. කැල්සියම් ඔක්සලේට් කියන්නේ ඉතා තියුනු ඉදිකටු තුඩු වැනි උල් අැති අැසට නොපෙනෙන තරම් කුඩා වැලිකැට වැනි ද්‍රව්‍යයක්. (calcium oxalate crystals). එ්වායේ අලෝක අණ්වීක්ෂ සහ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ ඡායාරූප මා පහත දක්වා තිබෙනවා.
මෙම ඔක්සලේට් අංශු අඩංගු ශාක කොටස් තදින් සැපීම, මෘදු සම අැති (කුඩා දරුවන් වැනි) අය පොඩි කීරීම නිසා සහ අැස් මත තැවරීමෙන් තමයි හානිය සිදුවන්නේ. නමුත් එම හානි මරණීය වන්නේ නැහැ. සිදුවන්නේ මෙම කුඩා ඔක්සලේට් අංශු වල තියුනු උල් මගින් ස්ථානීය වශයෙන් අැසට නොපෙනෙන කුඩා තුවාල සිදු වීමයි (local trauma). එවිට තොල්, කම්මුලේ අැතුළු පැත්ත, දිව, සිනිදු සම අැති පෙදෙස් සහ අැස් වල ශ්ලේෂ්මල පටලය රතුවීම සහ ඉදිමීම සිදුවෙනවා. ( ශාක කොටස තදින් ස්පර්ෂ වූ ස්ථාන අනුව) කැසීමක් අැති වෙන්නටත් පුළුවන්. නමුත් මෙම ඉදීමීම සහ රතුවීම බොහෝ විට ප්‍රතිකාරයක් නැතිවම පැය කීපයකින් සුව වෙනවා. නැත්නම් ඉතා සුළු ප්‍රතිකාරයකින් සුව වනවා. ඉතාමත්ම කලාතුරකින් උගුර සහ ස්වරාලය පෙදෙස ඉදිමුනොත් හුස්ම ගැනීමේ අපහසුතා එන්නට පුළුවන්, එවිට රෝහල් ගතවීම අවශ්‍යයි. නමුත් ඉතා අවධාරණයෙන් කිව යුත්ත තමයි එවැනි තත්වයන් ඉතාමත් ඉතාමත් විරලයි.

මෙම ඉහත කී කැල්සියම් ඔක්සලේට් අඩංගු වන්නේ ලකී ප්ලාන්ට් ( Zanzibar) ශාකයේ පමණක් නොවෙයි. දශක ගණනක සිට මෙරට ප්‍රචලිත අැන්තූරියම් වලත් අඩංගුයි. ඊට අමතරව අැන්තූරියම් වර්ගයේ වෙනත් විසිතුරු ශාක බොහොමයක මෙම ඔක්සලේට් අඩංගුයි. ( මෙරට ප්‍රසිද්ධ ශාක කීපයක රූප පහත දක්වා අැත). කෙටියෙන් කියනවා නම් අැන්තූරියම් මලට සමාන මල් අැති බහුතරයක් ශාක වල ඔක්සලේට් අංශු තිබෙනවා.
2007 වසරේදී අැමෙරිකානු විෂවේදී සංගමය (American poison Association) මෙම ශාක අාශ්‍රිත ඔක්සලේට් විෂවීම ගැන කල අධ්‍යයනට අනුව එම වසරේ වාර්තා වූ රෝගීන් 1145කට ප්‍රතිකාර නැතිව සුව වී තිබුනා, 81 දෙනෙක්ට සුළු ප්‍රතිකාර දී තිබුනා 3දෙනෙක්ට රෝහල් ගතවීමට සිදුවුනා. නමුත් කිසිදු මරණයක් වාර්තා උනේ නෑ.

වැදගත්ම දෙයක් තමයි මෙම ශාක ගැන අනියත බියක් අැතිකර ගත යුතු නැති බව. බොහෝ විට අවුරුදු 5ට අඩු දරුවන්ගේ තමයි ඉදිමීම සහ රතුවීම හටගන්නේ, එ් ඔවුන්ගේ සම ඉතා සිනිදු නිසා. මෙවැනි ශාක සමඟ අනවශ්‍ය ස්පර්ෂයක් සිදු වී අැත්නම් (ශාක කොටස් තැලීම. පොඩිවීම හෝ සැපීම) ප්‍රථමයෙන්ම එම පෙදෙස් ජලයෙන් හොඳින් සෝදා හැරීම පමණක්ම ප්‍රමාණවත් ප්‍රතිකාරයක්, සේදීමේදි අැලුනු ශාක කොටස් ඉවත් වන ලෙස ගලායන ජලයෙන් සෝදනවා නම් වඩාත් හොඳයි. සුළු වශයෙන් අැතිවන රතුවීම් සහ ඉදිමීම් වලට අයිස් වතුර හෝ අාවරණය කල අයිස් කැට මගින් සම්භාහනය හොඳ ප්‍රතිකාරයක්. කල් පවතින ඉදිමුම අැත්නම් වෙෙද්‍යවරයෙකු හමුවීම සුදුසුයි.

අප ඉහත කථාකල කැල්සියම් ඔක්සලේට් අණු මිනිසාගේ සහ සතුන්ගේ මුත්‍රාවල පවා අඩංගු වෙනවා. එනිසා අනවශ්‍ය බියක් අැතිකර ගත යුතු නැහැ. අපගේ කථාවට පාදක වූ Zanzibar ශාකය මලාවි සහ ටැන්සානියා යන රටවල දේශීය ඔෟෂධයක් ලෙස පවා භාවිත කරනවා.

එබැවින් මෙම ශාක විෂ බවක් හෝ පිළිකා කාරක බවක් මෙතෙක් සොයා ගෙන නැති අතර පෙරකී ස්ථානිය සංකූලතා පමණක් අැති කරණ බවත් දන්වමි.

අවසාන වශයෙන් කිවයුත්ත නම් කරුණු නිසිපරිදි නොසොයා තණකොළ ගසක් හෝ විනාශ කිරීම නම් ඉතා අනුවණ ක්‍රියාවක් බවයි. ස්තූතියි

—–වෙෙද්‍ය ඔමේෂ් චන්ද්‍රසිරි—–

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here